වඳ කළයුත්තේ ජාතිවාදීන්ය



වඳ කළයුත්තේ ජාතිවාදීන්ය
පසුගියදා තෙල්දෙණියේ ඇතිවුණු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අම්පාර සිදුවීමෙන් පසු නැවත වරක් ජාතිවාදය රට තුළ හිස එසවූ අයුරු දැකගත හැකිවිය. කෙසේවුවත්, මුස්ලිම් පිරිසකගේ පහර කෑමට ලක්වූ සිංහල තැනැත්තෙකු දින කීපයක් රෝහලේ ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව සිදුවූ මරණයක් ජාතිවාදී ගැටුමක් බවට පත්කරගන්නා ඥානසාර හිමි ඇතුළු පිරිස මේ සිද්ධිය පිටුපස සිටියහ. පොලිසීයේ සුවිශේෂී මැදිහත්වීමෙන් පසු ගැටුම සමතයකට පත්කර ගැනීමට හැකි වුවද අවසානයේදී ගින්නට පිළිස්සී ගිය නිවසක් තුළ තිබී මුස්ලිම් තරුණයෙකුගේ මළ සිරුරක් ද හමුවිය. කෙසේවුවත්, සමාජ මාධ්‍ය හරහා ජාතිවාදය වපුරවන තැනැත්තන් නිහඬ කරවීමට කිසිවකුට නොහැකි වී ඇති අතර ඔවුන් තව තවත් ශක්තිමත් වෙමින් වෛරී සහගත. අදහස් පතුරවමින් සිටියි. මහනුවර තත්ත්වය සන්සුන් වුවත් ජාතිවාදය පතුරවා ඉන් විනෝද වන පුද්ගලයින්ගේ නොහික්මුණු ක්‍රියාකාරකම් තවමත් හමාර වී නැති බව නැවතත් සිහිපත් කරදෙනු කැමතිය.
අනෙක් පසින් අම්පාර ආපන ශාලාවක වඳ පෙති මිශ්‍ර කොට පාරිභෝගිකයින්ට ලබාදෙන බවට වූ පුවත පසුගිය 27 වැනිදා ෆේස්බුක් මාධ්‍යයේ ඔබ මොබ සැරි සැරූ පිරිස අතර ජනප්‍රියතම මාතෘකාව වී තිබුණි. සිද්ධියේ සැබෑ පසුබිම වූයේ පසුගිය 26 වැනි දින රාත්‍රී නමයට පමණ අම්පාර පන්සල් හන්දිය අසළ ආපනශාලාවකින් ආහාර ගැනීමට ගිය පුද්ගලයකුට ලබාදුන් ආහාර පාර්සලයේ පෙති වර්ගයක් තිබීමයි. මෙලෙස වඳභාවයට පත් කළ හැකි කිසිදු රසායනිකයක් නැති බව ප්‍රවීණ වෛද්‍යවරුන්ගේ මතයයි. මෑතකාලීනව සිදුවූ මේ සියලු සිද්ධීන් තුළින් පිළිබිඹු වන්නේ සුළු සිද්ධියකිනුත් කැළඹීමට පත්වෙන මෙරට ජනතාවගේ ළමා මානසිකත්වය යි.
සමාජ මාධ්‍ය තුළ මෙන්ම රූපවාහිනී මෙන්ම පුවත්පත් මාධ්‍ය තුළ පවා මෙවැනි පුවත් විශේෂකර දැක්වීම තුළ නැවතත් පහර ගසන්නේ සංහිඳියා වැඩපිළිවෙලට බව පැහැදිලිය.  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පවා මාධ්‍යවේදීන් උත්කර්ශයට නැංවීමට උත්සහ දරන්නේ ද එයයි. සැබැවින්ම, මෙවැනි සිද්ධීන් හමුවේ නැවතත් නැගී එන්නේ අඳුරු කාලපරිච්ඡේදයක නිමාවෙන් පසු නැවතත් ලේ දැකීමට අප තුළ ඇති ආශාව ද යන්න ප්‍රශ්නයකි. 

මෙහිදී අකමැත්තෙන් වුවත් අප රටේ පැවති අඳුරු යුගයක් ගැන සිහිපත් කළයුතුවේ. ඒ මහින්ද රාජපක්ෂ යුගයයි. සිංහල බෞද්ධ ජාතිකත්ව අදහස් පෙරට ගෙන ආ ඒ යුගයේදී මහින්ද රාජපක්ෂ මහතා ගම් දනව් වල පන්සල් පුරා ඇවිදිමින් සිංහල බෞද්ධ මතය ජනගත කිරීමට ගත් වෑයම අදටත් නිමාවට පත්වී නැත. මේ ගැන New Buddhist Extremism and the Challenges to Ethno-Religious Coexistence in Sri Lanka පර්යේෂණයේදී නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසන්නේ, යුද ජයග්‍රහණය පවා සිංහල බෞද්ධ දේශපාලන පරිකල්පනය තුළ හිමිකරගත් සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. සැබැවින්ම, සිංහල බෞද්ධ දේශපාලනඥයකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා බලය ලබාගැනීම වෙනුවෙන් තවමත් උත්කර්ශයට නංවන්නේ ද පෙර කී යුද ජයග්‍රහණයමය. 

2015 ජනවාරි 08 ජනවරමලබාගත්යහපාලනරජයේප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ දක්වා සිටින අතිසුවිශේෂී වූ කරුණක් වන්නේ සංහිඳියාවයි. එහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ අඳුරු යුගය ගැන ද සිහිපත් කිරීමට අමතක කර නැත.

‘‘සංස්කෘතික හා ආගමික නිදහස හා සංහිඳියාව - මෙරට සියලු ජන කොටස් වලට ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිගනිමින් තම සංස්කෘතිය, භාෂාව හා ආගම වර්ධනය කිරීමට හා සුරක්ෂිත කිරීමට ඇති අයිතිය තහවුරු කරමි.

අන්තවාදී ආගමික කල්ලි වල ක්‍රියාකාරීත්වය නිසා රට තුළ ආගමික නොසන්සුන්කම් වර්ධනය වෙමින් පවතී. මෙම තත්ත්වය තුළ අන්තවාදී කණ්ඩායම් අනොන්‍ය වශයෙන් පෝෂණය වෙමින් සිය වැඩකටයුතු ව්‍යාප්ත කරමින් සිටිති. ....

තවද ආගමික නිදහසට බාධා වන අයුරින් රාජ්‍ය නායකයාගේ පවුල් මෙහෙයවීමෙන් මෑත කාලයේදී සිදුකළ හා සිදුවූ අත්තනෝමතික ක්‍රියා, රටටත් ආගමටත් බරපතල අවමානයක් ගෙන දෙනු ලැබීය. එම තත්ත්වය වහාම වෙනස් කිරීම උදෙසා කඩිනම් පියවර ගන්නෙමි.ඒ අනුව, සියලු ආගම් වල ජනතාවට තමන්ගේ ආගමික ඇදහිලි සඳහා ඇති නිදහස සහතික කරන්නෙමි.‘‘ යනුවෙන් ඒ බව දක්වා තිබුණි.
ඒ හේතුවෙන්ම වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රධානතම වැඩපිළිවෙලක් බවට සංහිඳියාව පත්වී ඇත. පසුගිය පෙබරවාරි 21 වන දා දියතලාවේදී බස් රථයක සිදුවූ පිපිරීමෙන් පසු ඊට අර්ථකතන එක්කරන මේ ජාතිවාදී පිරිස් පවසන්නේ එල්ටීටීඊ ඊළම යළි හිස ඔසවන බවයි. එහිදී ඉලක්කගත වන්නේ මෙරට වෙසෙන දමිළ පිරිස්ය.ඉන්පසු, පසුගිය 26 වැනිදා අම්පාරේදී දී මෙන්ම මහනුවරදී ද ඉලක්කගත වූයේ මෙරට වෙසෙන මුස්ලිම් ජාතිකයන්ය. මේ දෙපිරිසම මෙරට සුළුතරය බැව් සැබෑවකි. ‘අම්පාර කොල්ලොන්ගේ එකමුතුකම ආඩම්බරයි. හැමදාමත් මේ වගේ එකාවන්ව ඉන්නට යෝධ බල වීර්ය ශක්තිය ලැබේවා‘ මෙන්ම ‘මහනුවර කොල්ලෝ ආඩම්බරයි. බුදු සරණයි‘වැනි ප්‍රකාශ කිසිදු වාරණයකින් තොරව ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය හරහා යළි යළිත් උත්කර්ශයට නංවයි. සැබැවින්ම ඔවුන් මේ උත්කර්ශයට නංවන්නේ කුමක්ද ?.බෞද්ධ භික්ෂූන් පවා මෙම දමිළ, මුස්ලිම් විරෝධී මතවාදය මෙහෙයවන්නන් බවට පත්වී තිබීම අතිඛේදනීය තත්ත්වයක් වී ඇත.

අනෙක් පසින් මෙහිදී සිහිපත් වන්නේ පසුගිය 22 වැනිදා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවයි. රාජපක්ෂ රෙජීම් පාලනයෙන් පසුව මෙරට විපක්ෂ නායකවරයකු කළ සංවේදී ප්‍රකාශනයක් ලෙස මේ ප්‍රකාශය හඳුනාගත හැකිය. ආර්. සම්බන්ධන් මහතා පවසන්නේ ‘‘මම කැමතියි මේ රටේ සියලු දෙනාට දැනුම් දෙන්න, මේ වෛරී සහගත, ද්වේෂසහගත, සත්‍යයෙන් තොර, අසත්‍ය ප්‍රචාරණය කරන මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පොදුජන පක්ෂය මේ න්‍යාය පත්‍රයම ඉදිරියට ගෙන ගියහොත් ඊළම බිහිවෙන්නේ අප නිසා නෙමෙයි, ඊළම බිහිවෙන්නේ ඔබලාගේ නෙළුම් පොහොට්ටුව නිසා. ඔබේ නෙළුම් පොහොට්ටුව ඊළම ලෙස පිපෙනු ඇති. අන්න එයයි සිදුවන්නේ. ඒ නිසා කරුණාකරලා, ඒ වගේ අසත්‍ය ප්‍රචාර තුළින් සිල්ලර දේශපාලන වාසි ලබා ගැනීමට ඔබට ඇති ආශාවන් මැඩ පවත්වා ගන්න‘‘ යන්නයි.

බහුතරයක් වන මෙරට සිංහල ජනතාව දමිළ හා මුස්ලිම් පිරිස් සම්බන්ධයෙන් එවැනි වෛරී සහගත ප්‍රකාශන ඉදිරිපත් කරන විට අනෙක් පසින් ඉන් පීඩාවට ලක්වන පුද්ගලයින්ට සිදුවන්නේ කුමක්දැයි යන්න ගැන සිතන්නේ කවුරුන්ද ?.

‘‘වරෙක ප්‍රභාකරන් ඉන්දීය මාධ්‍යවේදිනී ඇනිටා ප්‍රතාප් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසන්නේ, ‘වර්ගවාදී රාජ්‍යයක් බිහිකිරීමට බෞද්ධ භික්ෂූන්ගේ උග්‍ර ජාතිවාදය දැඩි බලපෑමක් එල්ලකර තිබෙනවා. සංඝයා වහන්සේලා මෙරට දේශපාලන ප්‍රවණතා නිර්මාණය කිරීමට කැපීපෙනෙන දායකත්වයක් ලබාදී තිබෙනවා වගේම, සිංහල ජනතාව අතර දමිළ විරෝධී හැඟීම් ඇතිකිරීමට ඔවුන් දැඩි පෙළඹවීම් කර තිබෙනවා‘ යන්නයි.
අපට අවැසි වන්නේ සිංහලයාට සිංහල ලෙසත්, දමිළ ජනයාට දමිළ ලෙසත්, මුස්ලිම් ජනතාවට මුස්ලිම් ලෙසත් ජීවත්වීමට සුදුසු වටපිටාවක් විනා මේ පිරිස එකිනෙකාට විරුද්ධව අරගල කරන රටක් නොවේ. සිය අනන්‍යතාවන් රැකගනිමින් සියලු ශ්‍රී ලාංකිකයින්ට නිදහසේජීවත්වීමට හැකි රටක් ගැන යථාවත් වන හීනයක් අප සතුය. ඒ ගමන්මඟ අහුරන ජාතිවාදී පිරිස් අනිවාර්යයෙන්ම වඳ කිරීමේ වගකීම ද මෙරට සිංහල, දමිළ හා මුස්ලිම් සියළු ජනතාව සතුය.

සාගලරත්නායක

Comments

Popular posts from this blog

සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වගකීම

වෙනස්වන ගෝලීය ප්‍රවණතා තුළ ලංකාවේ ජනමාධ්‍යවල ඉරණම කුමක්ද?