සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වගකීම

                                  සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වගකීම


පසුගියදා රට තුළ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ මෙරට තුළ
හිඳිමින් සමාජ මාධ්‍ය ජාල වලට පිවිසීම වාරණය කිරීම සිදුකළේය. ඊට හේතුව
වූයේ මේ නොසන්සුන්කාරී සිදුවීම මෙහෙයවීම, ඒ හා සම්බන්ධ මතවාද
නිර්මාණය, විවිධ ප්‍රදේශ වල සිදුවුණ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සම්බන්ධ පිරිස්
අතර පණිවිඩ හුවමාරු කිරීම ආදී සියලුම ක්‍රියාවන් සමාජ මාධ්‍ය ජාල හරහා
සිදුවී තිබීමයි.
තෙල්දෙණිය සිද්ධිය පිටුපස සිටි ප්‍රධානතම චරිතය වූ අමිත් වීරසිංහ නැමැත්තා
පසුගියදා අත්අඩංගුවට ගැනුණි. එමෙන්ම, මේ සතිය ආරම්භයේදී ද තෙල්දෙණිය
සිද්ධියට අදාළව සමාජ මාධ්‍ය හරහා ජාතිවාදී හා වෛරී සහගත අදහස් පැතිර වූ
පාසල් සිසුන් විශාල සංඛ්‍යාවක් ද දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අත්අඩංගුවට
ගැනීම සිදුවිය. විශේෂයෙන්ම, අමිත් වීරසිංහ සම්බන්ධයෙන් විමසා බැලූ විට ඔහු
සිය ෆේස්බුක් පිටුව හා සමූහය හරහා බෞද්ධයින් කුපිත කරවමින් මුස්ලිම්
විරෝධී මතවාදයක් නිර්මාණය කිරීමට දැඩි උත්සහයක් ගත් බව මෑතකාලීනව
දක්නට ලැබුණි. මෙහි ගොදුරු බවට පත්වූයේ නව යොවුන් දරුවන් හා
තරුණයින්ය.
විවිධ පෝස්ට්, වීඩියෝ හා ප්‍රකාශ සිය මතවාදය පැතිරවීමට යොදාගන්නා
උපක්‍රමයක් ලෙස ඔහු භාවිත කළේය. කෙසේවුවත්, ජාතිවාදී හා වෛරී සහගත
මතවාද ප්‍රචාරය කිරීමට යොදාගන්නා වෙනත් ෆේස්බුක් පිටු හා සමූහයන්
ෆේස්බුක් මාධ්‍ය තුළ විශේෂයෙන්ම දැකගත හැකිවිණි. මීට සමගාමීව ජාතිවාදී
හා වෛරී සහගත අන්තර්ගතයන් රැගත් ෆේස්බුක් පිටු හා සමූහ මෙන්ම
පෞද්ගලික ෆේස්බුක් ගිණුම් මගින් ද මේ අදහස් මෑතකාලීනව පතුරවා හැරීම
සිදුවිය. දැවැන්තම ඛේදවාචකය වී ඇත්තේ බෞද්ධ භික්ෂු පිරිස් පවා මේ
කාර්යයන්ට සක්‍රීයව මැදිහත් වී සිටීමයි. මහ සොහොන් බලකායට අනුබද්ධ
අනෙකුත් ෆේස්බුක් පිටු හරහා තෙල්දෙණිය සිදුවීමේදී ජනතාව ප්‍රකෝප කරවන
සුළු පණිවිඩ ගැබ් කර තිබුණු අයුරු සුලබව දැකගැනීමට තිබුණි. ‘මහ සොහොන්
බලකාය වරෙව් ඉදිරියට‘, ‘නුවර පූජාපිටියේ පන්සලක බෝම්බයක් ගැහුවා. කෝ
නුවර කට්ටිය‘, ‘කුරුණෑගල, මාතලේ කට්ටිය අද රෑට සෙට් වෙලා ඉන්න‘ වැනි
අසත්‍ය ප්‍රචාර ඒ අතරින් ඇස ගැටුණු කීපයක් පමණි.
එවැනි පසුබිමක කිසිදු සීමා මායිමක් නැති සමාජ මාධ්‍ය, මහජන සම්බන්ධතා
මෙවලමක් ලෙස මෙන්ම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ද භාවිත කරන පිරිස්
මෙරට තුළ නැතිවාම නොවේ. අද වනවිට සමාජ මාධ්‍ය යන්න අනෙක් සියලු
මාධ්‍යයන් එක්වූ වේදිකාවක් ලෙස හඳුනාගත හැකි නිසාම කඩිනමින් තොරතුරු
දැනගැනීමේ පහසුව ද සැලසී ඇත. එමෙන්ම, ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් තුළ
කතාබහට ලක් නොවන තේමාවන් කතාබහට ලක්වන මහජන අවකාශයක්
බවට ද සමාජ මාධ්‍ය පත්වී හමාරය. සමාජයේ සියලු ක්ෂේත්‍රයන් පුරා විහිදී විසිරී
තිබෙන සමාජ මාධ්‍ය යහපත මෙන්ම අයහපත වෙනුවෙන් ද භාවිත කළ හැකි
බව මේ කරුණු ඔස්සේ හඳුනාගත හැක.
කැනේඩියානු මාධ්‍ය නීතිඥ හා මානව හිමිකම් නීතිඥ ටෝබි මෙන්ඩල් පසුගිය
වසරේදී මෙරටට පැමිණ සිටි අවස්ථාවේදී දැක්වූ අදහස් සිය ලිපියකදී
අවධාරණයට ලක්කරන නාලක ගුණවර්ධන මහතා මෙන්ඩල්ගේ අදහස් උපුටා
දක්වමින් පවසන්නේ, ‘‘ගෝලීය මට්ටමේ සමාජ මාධ්‍ය වේදිකා හිමි ඇමරිකානු
සමාගම් එරට නීති රාමුවට අවනත වනවා. එරට ව්‍යවස්ථාවෙන්ම ප්‍රකාශන
නිදහසට හා ආගමික නිදහසට ප්‍රබල රැකවරණයක් සපයා දී තිබෙනවා. මේ
නීතිමය නිදහස වෙනුවෙන් එකී සමාගම් පෙනී සිටිනවා.
නමුත්, ප්‍රකාශන නිදහසේ මුවාවෙන් ඕනෑම අසැබි දෙයක්, ප්‍රකෝපකාරී හෝ
ප්‍රචණ්ඩ ප්‍රකාශයක් කිරීමට සමාජ මාධ්‍ය වේදිකා පරිපාලකයෝ ඉඩ දෙන්නේ
නැහැ. ඒ හැම එකකටම අදාළ කොන්දේසි සමුදායක් තිබෙනවා. මේ නිසා සමාජ
මාධ්‍ය යනු අරාජික කලාපයක් යයි සමහරුන් කරන විග්‍රහය වැරදියි. ෆේස්බුක්
සමාගම ඇමරිකානු නීතිරීති වලට අනුකූල වන අතරම ඇමරිකානු බහුතර
සංස්කෘතික හරයන් ද පිළිපදිනවා.‘‘ යන්නයි.
මෙවැනි කරුණු තුළ පවා පැහැදිලි වන්නේ වඩා වැදගත් වන්නේ සමාජ මාධ්‍ය
හුදෙක් පටු අරමුණු වෙනුවෙන් භාවිත නොකර සමාජයට වැඩදායී වන කටයුතු
උදෙසා භාවිත කිරීමයි. නැත්නම් සිදුවන්නේ වඳුරන්ට දැලි පිහිය හසුවූවා හා
සමාන කටයුත්තකි.
2011 අගෝස්තු 6 වනදා සිට 11 වනදා අතර කාලයේදී ලන්ඩන් ඇතුළු නගර
ගණනාවක ඇතිවූ කලහකාරී තත්ත්වය ගැන පැහැදිලි කරන එවක බ්‍රිතාන්‍යය
අගමැති ඩේවිඩ් කැමරන් මහතා පවසන්නේ, කලහකරුවන් වෙබ් මාධ්‍ය භාවිතය
හරහා කාර්යක්ෂම ලෙසින් සංවිධානය වූ බවක් පෙනී ගොස් ඇතිබවයි. නිදහසේ
තොරතුරු ගලායාම සමාජයට හිතකර බව සත්‍ය වුවත් ඒ නිදහසම සමාජයට
එරෙහිව යොදා ගත හැකි අවියක් බවට පත්වන බව ඔහු මෙහිදී අවධාරණය
කරයි. ‘සමාජ විරෝධී පුද්ගලයින් නීති විරෝධී ක්‍රියා සඳහා වෙබ් මාධ්‍ය
යොදාගන්නා විට අප එය නතර කළ යුතුයි. ඒ නිසා පොලීසිය, බුද්ධි සේවා ගැන
සන්නිවේදන සමාගම් සමග අප කතා කරනවා. ඉදිරියේදී මෙබඳු අවස්ථා වල
නීතිවිරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා වෙබ් අඩවි, දුරකථන සේවා හෝ වෙනත්
ප්‍රචණ්ඩ තාක්ෂණයන් යොදාගන්නා බව පෙනී ගියහොත් එයට ඇති ඉඩකඩ නැති
කළ හැකිද ? නැතිද ? කියා විමසා බැලිය යුතුයි‘. මෙවැනි ප්‍රකාශ තුළ පවා
පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය යන්න හොඳට, නරකට දෙකටම භාවිත කළ හැකි
අවියක් බවට පත්ව ඇති බවත් ලොව දියුණු යැයි සම්මත රටවල් පවා එය
නියාමනයට ලක්කිරීමේ අවශ්‍යතාව ගැන උනන්දු වන බවයි.
අද දින වන විට මේ සම්බන්ධව ගෝලීය සංවාදයක් ද නිර්මාණය වී ඇත.
භාෂාවට පවතින අයිතිය නිරන්තරයෙන් කතාබහට ලක්වුව ද මේ අයිතිය

3
ඉක්මවා යමින් අන්තර්ජාලය තුළ සංසරණය වන වෛරී සහගත ප්‍රකාශන
ඔන්ලයින් මාධ්‍යයෙන් ඉවත්කර දැමීම පිළිබඳව ද අවධානය යොමුකළ යුතු බව
CERD (Convention on the Elimination of all Forms of Racial Discrimination) පවසයි. ‘යම්
ආගමක්, යම් වර්ණයක් හෝ ජනවාර්ගික කණ්ඩායමකට අයත් කිසියම් පුද්ගල
කණ්ඩායමක් ශ්‍රේෂ්ඨත්වයට නගමින්, ආගමික කණ්ඩායම් අතර ද්වේෂය
වර්ධනය වන පරිදි කිසියම් හෝ ආකාරයක බෙදීමක් ඇතිවන පරිදි මතවාද හෝ
ප්‍රචාරයන් පතුරවන්නේ නම්, සියලුම රාජ්‍යයන් මෙවැනි ප්‍රචරණ මුලිනුපුටා දැමීමට
අවශ්‍ය සාධනීය හා ක්ෂණික පියවර, ක්‍රියාවන් ගතයුතුය. එවැනි ද්වේෂ සහගත
ප්‍රකාශන මගින් බෙදීම් ඇතිකිරීම සම්බන්ධ නිසි පියවර ගත යුතු බව මානව
හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ද දක්වා ඇත‘‘
සමාජ මාධ්‍ය අතරින් ශ්‍රී ලංකාව වැනි රටකට දැවැන්ත බලපෑමක් කරන
ෆේස්බුක් මාධ්‍ය ගැන සොයා බැලුවහොත්, ලොව පුරා දෛනිකව මිලියන 1280
කට අධික පිරිසක් ෆේස්බුක් මාධ්‍ය භාවිත කරයි. මේ තුළ දෛනිකව පුද්ගල
මනසට මෙන්ම ජීවිතයට ද සිදුවන බලපෑම පැහැදිලිය. නිසි අවබෝධයකින්
තොරව සමාජ මාධ්‍ය භාවිත කළහොත් සිදුවන්නේ හිස මෙන්ම හදවත ද අහිමි,
එකිනෙකා හා කුළල් කා ගන්නා මානව සංහතියක් ඉතා නුදුරේදීම නිර්මාණය
වීමයි. අවශ්‍ය වන්නේ පුද්ගල ජීවිතයට අති සමීප අවකාශයක් බවට පත්වී
තිබෙන මේ මාධ්‍යයේ හොඳ මෙන්ම නරක ද එකසේ හඳුනාගෙන සමාජ මාධ්‍ය වගකීමෙන් යුතුව භාවිත කිරීමයි.

Comments

Popular posts from this blog

වෙනස්වන ගෝලීය ප්‍රවණතා තුළ ලංකාවේ ජනමාධ්‍යවල ඉරණම කුමක්ද?

වඳ කළයුත්තේ ජාතිවාදීන්ය