පිරුවට සංවර්ධනයෙන් තිරසර සංවර්ධනයට
වටමේසය
පිරුවට සංවර්ධනයෙන් තිරසර සංවර්ධනයට
විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් වත්මන් ආණ්ඩුව විෂයෙහි
සිදු කරන එක්තරා ප්‍රබල විවේචනයක් වන්නේ ආණ්ඩුවට වැඩ බැරි බවය. නො එසේ නම් ආණ්ඩුව
වැඩ කරන්නට දන්නේ නැති බවය.
ඒ සඳහා ඔවුන් ගෙනහැර දක්වන ජනප්‍රිය උදාහරණය වන්නේ
රාජපක්ෂ යුගයේ තරම් මහා පරිමාණ ව්‍යාපෘති වත්මන් රජය යටතේ ක්‍රියාත්මක නොවීමයි. ව්‍යාපෘති
ගණන සංඛ්‍යාත්මකව ගනණය කළ හොත් එම කතාව බැලූ බල්මට සත්‍යයක් ලෙස පෙනී යයි.
නමුත් ප්‍රශ්නය වන්නේ සංවර්ධනය යනුවෙන් ඔවුන්
හඳුන්වන්නේ කුමක්ද, සහ එහි
දිගු කාලීන බලපෑම කුමක්ද යන්නයි.
නිදර්ශනයක් වශයෙන් අතිශය දූෂිත ගනුදෙනු සිදු කිරීම
සඳහා 'සංවර්ධන
ව්‍යාපෘති' පිරුවටයක්
වශයෙන් භාවිතා කිරීමට ඇති හැකියාව ගැන උදාහරණ සෙවීමට අපට බොහෝ දුර යාමට අවශ්‍ය
වන්නේ නැත. එමෙන්ම
කෙටි කාලීන දේශපාලන වාසි සන්දහා මෙන්ම වෙනත් පටු ලාභ ප්‍රයෝජන සඳහාද 'සංවර්ධන ව්‍යාපෘති' භාවිත
වූ ආකාරය ගැන නිදසුන් සෙවීමට අපට සත් සමුදුරින් එපිටට යා යුතු නැත. මෙවැනි ව්‍යාපෘති
සඳහා පරිසර අධ්‍යයන වාර්තා, ශක්‍යතා
අධ්‍යයන වාර්තා හෝ ස්වාධීන විශේෂඥයන්ගේ උපදෙස් අවශ්‍ය වන්නේ නැත. තිබුණත් ඒ සියල්ල
කොළ කැබලිවලට පමණක් සීමා කළ හැකිය. මෙවැනි ව්‍යාපෘති සඳහා සැබවින්ම අවශ්‍ය වන්නේ
කොන්ත්‍රාත් සමාගමක් සහ කොන්ත්‍රාත් අනුමත කිරීමට දේශපාලන බලාධිකාරයක් පමණි.
මේ ගැන කතා කරන විට 'රාජපක්ෂ යුගය' එක්වරම
මතකයට පැමිණීම නොවැළැක්විය හැකිය. එහෙත් මා මෙහිදී කතා
කරන්නේ රාජපක්ෂ යුගය ගැන පමණක් නොවේ. ලෝකයේ දූෂිත එමෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති පාලනයන් පැවතුණු සෑම රටකම මෙබඳු සංවර්ධන
ව්‍යාපෘති අඩු වැඩි වශයෙන් දැක ගත හැකි විය. සත්‍ය වශයෙන්ම මෙබඳු ව්‍යාපෘතිවලින්
කෙටි කාලීනව ලැබෙන වාසි වලට වඩා දීර්ඝ කාලීනව ලැබන අනිටු ප්‍රතිඵල අතිශය භයානකය.
රටක මූල්‍ය විනය පිරිහීම, දරිද්‍රතාව
වැනි සෘජු ප්‍රතිඵල මෙන්ම බරපතළ ස්වාභාවික ව්‍යසන වැනි වක්‍ර ප්‍රතිඵල ද මෙවැනි ව්‍යාපෘති
නිසා රටකට උරුම වේ.
වත්මන් ආණ්ඩුව සිය
සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතම ස්ථානයක් තිරසර බවට (Sustainability ) ලබා දී ඇත්තේ මේ සත්‍යය මනාව වටහා ගෙන
ඇති නිසාය.
අප දැඩිව විශ්වාස කරනුයේ තිරසර බවට
මිලක් හෝ ආදේශකයක් නොමැති බවය.
නිදසුනක් වශයෙන්
දෙද්දුඅව ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ශ්‍රී ලංකාවේ විශාලතම සංචාරක කලාපය ගෙන හැර දැක්විය හැකිය.
එය කොළඹ වරාය නගරයේ (පෝට් සිටි) භූමි ප්‍රමාණය මෙන් තුන් ගුණයකටත් වඩා විශාල ව්‍යාපෘතියකි. එහි අරමුණ වන්නේ දකුණු ආසියාවේ
ආකර්ෂණීයම සංචාරක කලාපය ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමයි. මේ ව්‍යාපෘතිය තුළ ප්‍රමුඛම අවධානයක් යොමු වනු ඇත්තේ එහි ස්වභාවික පරිසරයේ සමතුලිත බව රැක ගෙන මෙම දැවැන්ත
සංචාරක කලාපය ඉදි කිරීමයි.
මේ සඳහා ස්වාභාවික පරිසරය විනාශ කොට සංචාරක
කලාප ගොඩනගන මොඩලයක් වෙනුවට, ස්වාභාවික පරිසරය
රැක ගෙන ඒ හා අත්වැල් බැඳගත් සංචාරක කලාප බිහිකරන මොඩලයක් නිර්මාණය කර ගැනීමට අපි
සමත් වීමු. ඇතැම් විට පිරිවැය අතින් බැලූ විට, ස්වාභාවික පරිසරය රැක ගෙන මෙම කලාපය ඉදි කිරීම වැඩි වියදම් සහිත ක්‍රියාවලියක්
වනු ඇත. නමුත් ඒ වියදම මෙරට අනාගත පරපුර වෙනුවෙන් සිදු කරන ආයෝජනයක් බව අපගේ
විශ්වාසයයි.
මේ ව්‍යාපෘතිය එම
ප්‍රදේශයේ ස්වාභාවික පරිසරයට හානි සිදු නොවන පරිදි සිදු කරගෙන යාම සඳහා ඇතැම් විට නව නීති හඳුන්වා දීමට අපට සිදු
වනු ඇත. එමෙන්ම ඉතා පුළුල් ලෙස ආයෝජකයන් සමග සාකච්ඡා කිරීමට අපට සිදු වනු ඇත. ඒ
හරහා නොයෙකුත් අභියෝගවලට මුහුණ දීමට අපට සිදු වනු ඇත. එහෙත් ඒ සියල්ල දැකිය යුත්තේ
ධනාත්මක ප්‍රවණතා වශයෙනි. මෙයට පෙර පැවති රජයන් මහා පරිමාණ ව්‍යාපෘති දියත්
කිරීමේදි දැඩි ලෙස විවේචනයට බඳුන් වූයේ මේ සාධක සියල්ල 'ඩෝසර්'
කරගෙන ඉදිරියට යාමට උත්සාහ කළ නිසාය.
මේ සියලු බාධක ජයගෙන මෙබඳු ව්‍යාපෘති
නියමිත කාල රාමුව තුළ නිම කිරීම සඳහා දැවැන්ත ජවයකින් මෙන්ම අධික වේගයකින්ද වැඩ
කිරීම අත්‍යවශ්‍ය වේ. මා විශ්වාස කරන අන්දමට ඒ සඳහා වන හැකියාව වත්මන් රජය තුළ
පවතී. ඒ සඳහා හොඳම නිදර්ශනය වන්නේ ලබන ජනවාරි මස මුල් භාගයේදී වැඩ නිම වීමට නියමිත
රාජගිරිය ගුවන් පාලමයි. මුලින් තක්සේරු කෙරුණේ එහි වැඩ අවසන් කිරීමට හැකියාව ඇත්තේ
2018 වසරේ දෙසැම්බර් මාසයේ බවයි. එහෙත් මේ
වන විට එම ව්‍යාපෘතිය මාස 12කට කලින් අවසන් කිරීමට රජය සමත්ව
සිටී. මෙය ඉතාම සුබවාදී පෙරනිමිත්තක් වන අතර රටේ සෙසු සංවර්ධන කටයුතු වලටද කදිම
පූර්වාදර්ශයකි.
දස වසක රාජපක්ෂ
පාලනයෙන් පසු වත්මන් රජයට උරුම වූයේ වල්බිහිව ගිය ආර්ථිකයකි. අපි වසර තුනක කාලය තුළ එය පිරිසිදු කොට සවිමත් නිවහනක් තැනීම සඳහා
අත්තිවරාම දැමූයෙමු. දැන් එහි බිත්ති බැඳීම ආරම්භ වී ඇත.
කාර්යක්ෂමව මෙන්ම විචක්ෂණව වැඩ කොට ඉදිරි කාල සීමාව මෙම නිවහනේ බිත්ති බැද, කපරාරු කොට, තීන්ත ගා පිරියම් කොට එහි සියලු
කටයුතු සම්පූර්ණ කිරීම අපගේ අභිප්‍රායයි. අද අප ඒ වෙනුවෙන් වගුරන දහඩිය වල ප්‍රතිඵල
හෙට උපදින පරපුර මහත් සෙනෙහසකින් භුක්ති විඳිනු ඇති අතර, ඔවුන් මේ නිවහනේ සාඩම්බර උරුමකරුවන්ද
වනු ඇත.
සාගල රත්නායක

Comments
Post a Comment