ඩිජිටල් ව්‍යවසායකත්වය තව දුරටත් කැරට් අලයක් නොවේ


ඩිජිටල් ව්‍යවසායකත්වය තව දුරටත් කැරට් අලයක් නොවේ 


කුමාරතුංග මුනිදාස පඬිවරයා ලියූ 'අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී' යන පාඨය අප බොහෝ දෙනෙකු ඉගෙන ගත්තේ පාසල් කාලයේදීය. අපට පෙර පරපුරද අපෙන් පසු පරපුරද ඒ පාඨය ඒ අයුරින්ම ඉගෙන ගෙන ඇතුවාට සැක නැත. 

අප කොතෙක් මෙම පාඨය  ඉගෙන ගත්තත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමෙහිලා කෙතරම් සමත් වූවාද යන්න වෙනම සිතා බැලිය යුතු කරුණකි . නිදහසින් පසු ගෙවුණු දශක හත ඇතුළත අප අඩුවෙන්ම අවධානය යොමු කළ කාරණයක වූයේ අලුත් දෑ ගොඩනැගීමයි. වෙනත් වචන වලින් කියන්නේ නම් ව්‍යවසායකත්වයයි. නිදහස ලබන විට අපට පසුපසින් සිටි බොහෝ රටවල් අද වන විට අප පසුකොට බොහෝ දුර ගොස් ඇත්තේ අප අතින් සිදු වූ මෙබඳු වැරදීම් නිසාය.

මා විශ්වාස කරන අන්දමට එය පසුගිය දශක හත පුරාම මෙරට මුල් බැසගත් බලය කේන්ද්‍රීය වූ දේශපාලනයේ අතුරු ඵලයකි.  රට පාලනය කළ විවිධ රජයන් නිතරම ජනතාවට  පෙන්වූයේ සුවපහසු, කෙටි මාර්ගය මිස දීර්ඝ  එහෙත් තිරසාර මාර්ගය නොවේ. මෙහිලා අප රටක් වශයෙන් වුවමනාවෙන්ම අමතක කළ කාරණය වූයේ සාර්ථකත්වයට දිගු මං මිස කෙටි මං නොමැති බවය.

​සෑම දේශපාලන පක්ෂයක්ම දශක ගණනාවක් තිස්සේ සිය පාක්ෂිකයන්ට සහ ආධාරකරුවන්ට පෙන්වූ 'කැරට් අලය' වූයේ රජයේ රැකියාය. බොහෝ තරුණ තරුණියෝ රජයේ රැකියා බලාපොරොත්තුවෙන් සිය වටිනා කාලය දේශපාලකයන් පසුපස යාමට වැය කළහ. ඇතැමුන්ට යම් යම් රැකියා අවස්ථා හිමිවුවත් මෙයින් බහුතරයකට සිදු වූයේ දේශපාලකයන්ට ශාප කරමින් තව තවත් අසරණ වන්නටය. මේ අසහනය පසුකාලීනව රටේ නොයෙකුත් සමාජ ආර්ථික ප්‍රශ්න නිර්මාණය කළේය. රජයේ රැකියා සොයමින් ඔවුන් වැය කළ කාලය වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමට හැකිවූයේ නම් ඔවුන්ගේ ජීවන තත්ත්වය බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. අද පවා මේ 'රජයේ රැකියා' මානසිකත්වය බොහෝ දෙනෙකු තුළින් ඉවත්ව නැති බව මට පැහැදිලිව හැඟෙන දෙයකි.​

එහෙත් මෙහි යථාර්ථයට මුහුණ දිය යුතු මොහොතට දැන් අපි පැමිණ සිටිමු. වත්මන් රජය බලයට පැමිණියේ සිය ධුර කාලය තුළ රැකියා දස ලක්ෂයක් උපදවන පොරොන්දුව මතය. එහෙත් එම රැකියා දස ලක්ෂය රාජ්‍ය අංශය තුළින් පමණක් ඉපදවීම රටට දිගු කාලීනව හිතකර ක්‍රියාවලියක් නොවේ. මෙහිලා ප්‍රමුඛ කාර්යයක් සිදු කළ යුත්තේ පෞද්ගලික අංශයයි. එහෙත් පෞද්ගලික අංශයට එම ශක්තිය ලැබෙන්නේ කිසියම් ගුප්ත බලයකින් නොවරජය විසින් ගනු ලබන යහපත් ප්‍රතිපත්තිමය තීරණ තුළිනි. එම ප්‍රතිපත්තිමය තීරණ පුද්ගලික අංශයට හිතකර වුවහොත්, ඒ හරහා සිය වර්ධනය වැඩි කරගනිමින් නව රැකියා නිපදවීමට පුද්ගලික අංශයට හැකියාව ලැබේ.

පෞද්ගලික අංශය යනු හුදෙක් මහා පරිමාණ සමාගම් පමණක් නොවේ. මධ්‍ය සහ කුඩා පරිමාණ සමාගම් ද, නව ව්‍යවසායකයන්ද පෞද්ගලික අංශයට අයත් වේ. මා විශ්වාස කරන අන්දමට ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සමෘද්ධිය තීරණය කරන අතිශයින්ම වැදගත් සාධකයක් වනුයේඩිජිටල් අංශයෙහි නව ව්‍යවසායකයන්ය.වත්මන් ගෝලීය ප්‍රවණතාවන් තුළ සහ දියුණු තොරතුරු තාක්ෂණය පාදක කරගෙන ඔවුන්ට සිදු කළ හැකි විප්ලවයට සීමා මායිම් නැත. රජයේ කාර්යභාරය විය යුත්තේ ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම සිදු කිරීම සහ යහපත් රාජ්‍ය ප්‍රතිපත්ති හරහා පහසුකම් සැලසීම පමණි. 

වත්මන් තාක්ෂණික ප්‍රවණතා සමග ඩිජිටල් ව්‍යවසායකයන්ට යා හැකි දුර බොහෝය. එහෙත් ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් බොහෝ දියුණු වන රටවලත් ඔවුන්ට ඇති අභියෝගද රාශියක් පවතී. මේ බොහොමයක් පැන නගින්නේ ඩිජිටල් මාධ්‍යය දියුණු වීමට බොහෝ කලකට පෙර රටට හඳුන්වා දුන් පැරණි, දරදඬු නීති සහ රෙගුලාසි වලිනි.  මේ නීති සහ රෙගුලාසි  ඩිජිටල් මාධ්‍යයේ ව්‍යවසායකයන්ගේ නිර්මාණශීලිත්වය සීමා කරන අතර ඔවුන් අවදානම් ගැනීමට පසුබට කරවයි. නමුත් ගැටලුව වන්නේ අවදානම් ගැනීමෙන් සහ නිර්මාණශීලිත්වයෙන් තොරව ලොකයේ කිසිදු ක්ෂේත්‍රයක ඉදිරි ගමනක් සිදු නොවන බවය. 

​මේ හේතුව නිසාම අද ලෝකයේ බොහෝ රටවල් ඩිජිටල් ව්‍යවසායකයන් විෂයෙහි නීති වෙනස් කරමින් සිටී. එසේත් නැත්නම් නව නීති හඳුන්වා දෙමින් සිටී. නිදසුනක් වශයෙන් ඊජිප්තුවේ මෑතකදී හඳුන්වා දුන් සංශෝධනයක් වූයේ නව ව්‍යවසායකයන්ට  බංකොළොත්වීමකදී සිය සමාගම ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය ඉඩකඩ සැලසීමයි. ඒ, ඔවුන්ට නොගෙවූ ණය සම්බන්ධයෙන් සිර දඬුවම් විදීමේ අවදානමෙන් මිදිය හැකි වන අයුරිනි. එය නිර්මාණශීලි වීමට සහ අවදානම් ගැනීමට නව ව්‍යවසායකයන් පොළඹවන අන්දමේ තීරණයකි. එසේම මෙහි අනෙක් පැත්ත වනුයේ මෙබඳු සංශෝධන අවභාවිතා කිරීමට වංචනිකයන්ට ඇති ඉඩකඩ ඇහිරීමයි.​

එසේම ලොව පුරා රටවල් කිහිපයක් මෑතකදී හඳුන්වා දුන් සංශෝධනයක් වූයේ නව ව්‍යවසායකයන්ට අවශ්‍ය ණය සහ මූල්‍ය ප්‍රතිපාදන පහසුවෙන් ලබා ගැනීමට ඉඩකඩ සැලසීමයි. ශ්‍රී ලංකාවේද මෙය දැනට ක්‍රියාවට නැංවෙමින් තිබේ. මෙය රජය මෙන්ම පෞද්ගලික අංශයේ දැවැන්ත සමාගම්ද එකසේ අවධානය යොමු කළ යුතු කාරණයකි. පෞද්ගලික අංශයේ ප්‍රමුඛ සමාගම් නව ඩිජිටල් ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට පියවර ගන්නේ නම් එය දෙපාර්ශ්වයටම බෙහෙවින් වාසිදායක ගනුදෙනුවකි. එහෙත් එය දැවැන්ත සමාගම් විසින් අලුතින් තරග බිමට පැමිණෙන ව්‍යවසායකයන් ගිල නොගන්නා අන්දමින් සිදු විය යුත්තකි. රජයේ මග පෙන්වීම  අවශ්‍ය වන්නේ මේ සඳහා වන ක්‍රමවේද සැකසීමටය.

රජයක් වශයෙන් මෙහිදී අප තෙරුම් ගත යුතු තවත් පැත්තක් පවතී. වත්මන් ලෝකයේ බොහෝ දෙනෙකු සිතන්නේ ඩිජිටල් ව්‍යවසායකත්වය ගැන සිතන්නේ රන් බිජු දමන කිකිළියක් ලෙසටය. ඩිජිටල් ව්‍යවසායකත්වයට වර්ධනය වීමට කාලය සහ අවකාශය ලබා දෙන අතර එයින් දෙයාකාරයක ප්‍රතිඵල ඇතිවන බව අප තේරුම් ගත යුතුය. මෙහි එක් පැත්තක් වන්නේ රැකියා නිර්මාණය වීම (Job creation) වන අතර අනෙක් පැත්ත වන්නේ වටිනාකම් නිර්මාණය වීමයි (Value creation). මේ දෙපැත්තම රටේ ආර්ථිකයක ඉදිරි ගමනට එක සේ වැදගත්ය.  එමනිසා මේ මොහොතේ අපගේ ප්‍රමුඛම වගකීම විය යුත්තේ මෙම අංශයේ ශක්තිය හඳුනා ගෙන එහි අනාගත සාර්ථකත්වය සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමයි
.


සාගල රත්නායක


Comments

Popular posts from this blog

සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වගකීම

වෙනස්වන ගෝලීය ප්‍රවණතා තුළ ලංකාවේ ජනමාධ්‍යවල ඉරණම කුමක්ද?

වඳ කළයුත්තේ ජාතිවාදීන්ය