සිංගප්පූරුවෙන් අපට විවර වන අග්නි දිග ආසියාවේ ආර්ථික දොරටුව
සිංගප්පූරුවෙන් අපට විවරවන අග්නිදිග
ආසියාවේ ආර්ථික දොරටුව
ශ්‍රී ලංකාව පසුගියදා සිංගප්පූරුව සමග
නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කළේය. එය රටේ ආර්ථිකයට කෙටිකාලීනව මෙන්ම දිගු
කාලීනවද ඇති කරන සුබවාදී බලපෑම ඉතා පුළුල්ව විමසිය යුතුය.
සිංගප්පූරුව සමග ශ්‍රී ලංකාව අත්සන්
කළ නිදහස් වෙළඳ ගිවිසුම ශ්‍රී ලංකාව වසර 10කට පසු අත්සන් කළ මුල්ම නිදහස් වෙළඳ
ගිවිසුම වේ. එනම් පසුගිය රජය මෙරට පාලනය කළ වසර ගණනාවක කාලය තුළ ශ්‍රී ලංකාව
කිසිම නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කර නැත. මේ තුළින් කියැවෙන්නේ ජාත්‍යන්තරය
අමතක කොට හුදෙකලා රාජ්‍යයක් ලෙස ගමන් කරනවා වෙනුවට ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තරය
සමග අත්වැල් බැඳගෙන, ජාත්‍යන්තර දියුණුවේ කොටස්කරුවෙකු වෙමින් ඉදිරියට යාම තෝරා
ගෙන ඇති බවය. එය වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා සිදුවූ මූලික
වෙනසකි. එමෙන්ම එය දේශපාලන පක්ෂ හෝ ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාටම
සතුටු විය හැකි කාරණයකි.
එහෙත් රටේ ආර්ථිකයේ සියලු දේ සර්ව
සම්පූර්ණ බවවත්, අප සියලු දේ දිනා ඇති බවවත් මෙයින් නොකියැවේ. මෙයින් කියැවෙන ප්‍රධානම
දෙය මේ වන විට අප රටක් වශයෙන් නිවැරදි මාවතට පිවිස ඇති බවයි. රටක ආර්ථිකය සිර කොට,
ඒ වටා පවුරු බැඳ ආර්ථික ස්ථාවරත්වය කරා ළඟා වූ කිසිදු රටක් නැත. පසුගිය දශක කිහිපය
තුළ ලොව පුරාම දකින්නට ලැබුණු උදාහරණ වලින් පෙනෙන්නේ වඩාත් විවෘත මෙන්ම වෙළඳපොල
කෙරෙහි හිතවාදී ආර්ථික ක්‍රමය හැරෙන්නට වෙනත් සාර්ථක විකල්පයක් අප හමුවේ
නොමැති බවය. විශේෂයෙන්ම චීනය සහ වියට්නාමය වැනි කොමියුනිස්ට් පාලනය තිබූ රටවල් පවා
අද වන විට පිළිගෙන ඇත්තේ විවෘත ආර්ථිකයේ මාවතයි. මෙයට වසර කිහිපයකට පෙර අභ්‍යන්තර
ප්‍රශ්න නිසා දරුනු පසුබෑමකට ලක්ව සිටි ඉතියෝපියාව පවා මේ විට අප්‍රිකානු
කලාපයේ ඉතා ශක්තිමත්ව නැගී සිටිනේ නිවැරදි ආර්ථික පිළිවෙත් නිසාය.
සිංගප්පූරුව ශ්‍රී ලංකාව සමග දීර්ඝ
කාලීන සම්බන්ධතා පවත්වන රටකි. විශේෂයෙන්ම සිංගප්පූරුවේ හිටපු අගමැති
ලී ක්වාන් යූ මහතා සිය පාලන කාලයේ මුල් භාගයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මහත් ප්‍රසාදයෙන්
යුතුව කතා කළේය. එහෙත් මේ වන විට සිංගප්පූරුව ශ්‍රී ලංකාව පසු කොට බොහෝ දුර
ගොසිනි. එමනිසා ලංකාවට සිංගප්පූරුවෙන් ලබා ගත හැකි දේ බොහෝය. එය හුදෙක් භාණ්ඩ හා
සේවා හුවමාරුවෙන් ඔබ්බට යයි. සිංගප්පූරුව සමග මේ අන්දමින් ගනුදෙනු කිරීම ශ්‍රී
ලංකාවට වැදගත් වන්නේ ඒ පසුබිම තුළය. සිංගප්පූරුවෙන් අප ඉගෙන ගන්නා දේ සහ එම දැනුම
උපයෝගී කරගන්නා ආකාරය මත මෙම නිදහස් වෙළඳ ගිවිසුමේ දීර්ඝ කාලීන
සාර්ථකත්වය රඳා පවතිනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.
මෙම වෙළඳ ගිවිසුමත් සමග අප විවර
කරගන්නා දොරටුව හුදෙක් සිංගප්පූරුවට සීමා කර නොගෙන ASEAN රටවල් ( නො එසේ නම් අග්නි දිග ආසියානු
කලාපය ) කර ව්‍යාප්ත කරලීම ශ්‍රී ලංකාවට බෙහෙවින් ඵලදායී වනු ඇත.
ඉන්දියාව, චීනය සහ ASEAN කලාපය එකතුව ලෝක දළ ජාතික
නිෂ්පාදිතයෙන් සියයට 31කටද, ගෝලීය වෙළඳාමෙන් සියයට 27කටද, ගෝලිය අන්තර්ජාතික ආයෝජන
වලින් සියයට 19කටද හිමිකම් කියයි. ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධනයේ පදනම වනු
ඇත්තේ මෙම කලාපය සමග ඇති කරගන්නා සබඳතා වල ශක්තිය මතය. ශ්‍රී ලංකාව ආසියානු කලාපයේම
රටක් වීමත්, දැනටත් ASEAN සංවිධානය සමග සීමිත ක්ෂේත්‍ර කිහිපයක කටයුතු කරන නිසාත් ශ්‍රී ලංකාව
අන් රටවලට වඩා වැඩියෙන් මෙම කලාපය සමග ආර්ථික සහයෝගිතාව ගොඩනගා ගැනීමට අවස්ථාව
ලැබෙනු ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම කලාපය සමග සබඳතා තර කරගැනීමේ
වැදගත්කම නිතරම අවධාරණය කොට ඇත්තේ මෙම යථාර්ථය හොඳින් වටහා ගෙන සිටින නිසාය.
සිංගප්පූරුව ව්‍යාපාර සහ ආයෝජන සිදු
කිරීම සඳහා ඉතාම හිතකර පරිසරයක් තිබෙන රටකි. නිලධාරිවාදය සහ අවිධිමත් රාජ්‍ය සේවය
නිසා ව්‍යාපාර සහ ආයෝජන වලට සිදුවන අහිතකර බලපෑම් මුළුමනින්ම පාහේ නතර කරගැනීමට
සමත් වූ රටක් ලෙස සිංගප්පූරුව හැඳින්විය හැකිය. එයට ප්‍රධාන හේතුවක් වූයේ ලී
ක්වාන් යූ මහතාගේ ශක්තිමත් නායකත්වයයි. වඩාත් වැදගත් කාරණය වන්නේ ලී ක්වාන් යූ
මහතාගෙන් යුගයෙන් පසුවත් එම පිළිවෙත් ඉදිරියට ගෙනයාමට සිංගප්පූරුව සමත්ව සිටීමයි.
නිදහසෙන් පසු ගෙවුණු වසර 70 තුළ ශ්‍රී ලංකාව වැඩිපුරම අසමත් වූ අංශය වන්නේද එයයි.
එක් එක් නායකයන් විටින් විට යහපත් යෝජනා ක්‍රියාත්මක කළත් ඒ කිසිවකට වැඩි ආයුෂ
තිබුණේ නැත. ඒ සියල්ලම ඊට පසු එළැඹුනු මැතිවරණයත් සමග අහෝසි වී ගියේය.
සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන ඉතාම
වැදගත් ආයතනයක් වන්නේ ආර්ථික සංවර්ධන මණ්ඩලයයි (Economic Development
Board - EDB). එරට ආර්ථික සංවර්ධන මණ්ඩලය මෙරට ඇති ආයෝජන මණ්ඩලයට යම් තරමකින් සමාන
වුවත් එහි කාර්යභාරය සහ විෂය පථය බෙහෙවින් පුළුල්ය. සිංගප්පූරුවේ ආයෝජන පිළිබඳ
සියලු තීරණ ගනු ලබන්නේ මෙම මණ්ඩලය විසින් වන අතර එය ඉතාම කාර්යක්ෂමව ක්‍රියාත්මක
වේ. එහි තීරණ ගැනීමට මාස ගණන් ගතවෙන්නේ හෝ වැදගත් තීරණ නිලධාරිවාදයට හෝ පටු
දේශපාලනයට යට වෙන්නේ හෝ නැත. ලී ක්වාන් යූ මහතාගේ
අදහසක් අනුව 1961 වර්ෂයේ පිහිටවූ මෙහි ශාඛා ලෝකයේ ප්‍රබලතම රටවල් 12ක ක්‍රියාත්මක
වෙයි. එහි ක්‍රියාකාරිත්වය තුළ සිංගප්පූරුවේ ආර්ථිකයට ලැබෙන ශක්තිය අති
මහත්ය.
ලෝකයේ නවතම ව්‍යාපාර කාර්ය සාධන
දර්ශකයට අනුව සිංගප්පූරුවේ ආයෝජනයක් ආරම්භ කිරීම සඳහා ගත වන්නේ දින දෙකහමාරක
කාලයක් පමණි. එයින් පෙන්නෙන්නේ එරටේ ක්‍රමවේද කෙතරම් දුරට ආයෝකයන්ට හිතකර අන්දමට
සකස් වී ඇතිද යන්නයි. ශ්‍රී ලංකාවේ ආයෝජනයක් ආරම්භ කිරීමට ගතවන අඩුම කාලයත් ඊට වඩා
කිහිප ගුණයකින් වැඩිය. මේ තත්ත්වය වෙනස් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා
පසුගිය වසර තුන තිස්සේම හඳුන්වා දුන් විසඳුම් පටු දේශපාලන හේතු නිසා තවමත් ක්‍රියාත්මක
කළ නොහැකිව පවතී. එහෙත් ශ්‍රී ලංකාවට සාර්ථක ඉදිරි ගමනක් යාමට අවශ්‍ය නම් එම බාධක
කෙසේ හෝ බිඳදා එබඳු ඉදිරිගාමී විසඳුම් කෙසේ හෝ ක්‍රියාත්මක කළ යුතුය.
එමනිසා මා සිතන අන්දමට සිංගප්පූරුව
සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමත් සමග දැමූ මේ අඩිතාලම තවත් ශක්තිමත්
වන්නේ ඒ සමග අපට විවර වෙන දොරටු හරිහැටි හඳුනා ගතහොත් පමණි. මෙය එක රැයින් සිදු කළ
හැකි වෙනසක් නොවුණත් එම වෙනස සිදු කරන මාවතට අප ඉක්මනින් එළඹිය යුතුය. ඇතැම්
අවස්ථාවල අපට කෙටි පියවර තබන්නට අපට සිදුවූවත් ඒ කෙටි පියවර ඉදිරියට තබන ඒවා මිස
පසුපසට තබන ඒවා නොවීමට අප වගබලා ගත යුතුය.
සාගල රත්නායක

Comments
Post a Comment