පරිණත පක්ෂ නායකත්වය එජාපයේ අභිමානයයි.



පරිණත පක්ෂ නායකත්වය එජාපයේ අභිමානයයි.

ක්‍රීඩා  පිටියේ දී, යුද පිටියේ දී මෙන්ම දේශපාලනයේ දී ද හොඳ නායකයන් බිහිවන්නේ පීඩනකාරී වටපිටාවකදී ය. කෙනෙකු පීඩනය හසුරුවන අන්දම ඔහුගේ හෝ ඇයගේ නායකත්ව ගුණාංග මැන බැලීමට ඉතාම සුදුසු මිම්මකි. පීඩනය සාර්ථකව කළමනාකරණය කරගන්නා නායකයෙකු හට වෙනත් ඕනෑම අභියෝගයක් ජයගැනීම අපහසු නොවේ. 

වත්මන් පළාත් පාලන මැතිවරණයද පැවැත්වෙන්නේ ඉතාම පීඩනකාරී වටපිටාවක බව පිළිගත යුතු සත්‍යයකි. මෙය 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසු පැවත්වෙන මුල්ම මැතිවරණයයි. 2015 අගෝස්තු මහ මැතිවරණය පැවැත්වුණේ ජනාධිපතිවරණය  අවසන් වී මාස කිහිපයකින් පසුවය. මහ මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළත් ජනාධිපතිවරණ උණුසුම පහව ගොස් නොතිබිණි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් තරග වැදුණු පෙරමුණ නියෝජනය කළේ  ජනවාරි 08 වැනිදා  යහපාලනය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළ 62 ලක්ෂයකට අධික පිරිසකගේ අරමුණු බව පැහැදිලිව පෙනුණු  කරුණක් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළේ රාජපක්ෂවාදී කණ්ඩායම වූ අතර වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. මේ හේතුව  නිසා මැතිවරණයේදී තරගය තිබුණේ ප්‍රධාන කඳවුරු  දෙකක් අතර වූ අතර ඔවුන් අතර වූ වෙනස ද ඉතාම පැහැදිලි එකක් විය. 

එහෙත් මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ ඊට වඩා ඉතා සංකීර්ණ තත්ත්වයක් මධ්‍යයේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සටනට එක් වී ඇති අතර, ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට එක් වී ඇත. මේ නිසා රජය නියෝජනය කරන ඇමතිවරුද කඳවුරු දෙකක සිට මැතිවරණ සටන මෙහෙයවති. මෙයට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුට සහය දක්වන කණ්ඩායම පොහොට්ටුව ලකුණ යටතේ වෙනම පෙරමුණකින් තරගයට එකතු වී සිටිති. 

එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයට ඉදිරිපත් වූයේ ඉතා ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ලෙසය. එම නිසාම වෙනත් පක්ෂවල නිරන්තර විවේචනයට ලක් වන්නටද එජාපයට සිදු විය. එසේ ප්‍රහාර එල්ල කිරීම තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ එජාපයේ ඡන්ද පදනම බිඳ දමා එයින් කොටසක් තමන් වෙත නතු කරගන්නට ය. මෙම බොහෝ විවේචන, චෝදනා, මඩ ප්‍රහාර අපවාද එල්ල වූයේ එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ය. එයට එකම හේතුව ඔහු දැනට මෙරටේ තිබෙන ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරයේ නියමුවා වීමය.


එහෙත් වඩාත්ම වැදගත්ම කරුණ වන්නේ මෙම විවේචන, මඩ සහ අපවාද මගින් ඇති කළ පීඩනය අගමැති වික්‍රමසිංහ මහතා කළමනාකරණය කර ගත් අන්දමයි. ඔහු මැතිවරණ වේදිකාවේ කිසිම තැනක ආවේගශීලිව කතා කරන බවක් අප දුටුවේ නැත. තමන්ට අසාධාරණ විවේචන එල්ල කළ කිසිවෙකුට ප්‍රති පහාර එල්ල කරන්න ත කාලය නාස්ති කළේ නැත. එමෙන්ම තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවට විහිළුවක් වෙන පරිදි ඔහු හැසිරුණේ ද නැත. ඔහු අනුගමනය කළේ ඉතාම මැදහත් එමෙන්ම, බුද්ධිමත් ප්‍රතිපත්තියකි. 

ඔහු මෙවර මැතිවරණයේදී ජනතාව වෙත ඉදීරිපත් කළේ ඉදිරි දැක්මක් මිස මඩ හෝ අපවාද නොවේ. රටේ අනාගතය ශක්තිමත් කිරීමටත්, ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමටත්  පක්ෂය විසින් ඉදිරියේදී ගනු ලැබීමට නියමිත පියවර මොනවා දැයි යන්න ඔහු පැහැදිලි කළේය. එමෙන්ම මෙම ක්‍රියාවලියට පළාත් පාලන ආයතන සම්බන්ධ වන්නේ කෙලෙසද යන්නත්, මෙම ප්‍රතිලාභ සමාජයේ බිම් මට්ටමට ගලා යාම සඳහා පළාත් පාලන ආයතනවලට සිදු කළ හැකි කාර්යභාරයත් ඔහු පැහැදිලි කළේය. එමෙන්ම ඔහු අවධාරණය කළ තවත් කරුණක් වූයේ මේ කාර්යය ඉටු කිරීම සඳහා වඩාත්ම සුදුසු කණ්ඩායමක් මෙවර මැතිවරණයේදී තෝරා පත් කර ගැනීමේ අවශ්‍යතාවයි. ඒ සඳහා ගැළැපෙන කණ්ඩායමක් මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට වග බලා ගත්තේය.

ස්ත්‍රී දූෂණ සම්බන්දයෙන් වාර්තා තැබූ පුද්ගලයන්, ගුරුවරුන් දණ ගැස්වීමට නම් දැරූ පුද්ගලයන්, මැරයන් සහ දූෂිතයන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තු වල ඇතුළත් වූයේ නැත. ගුරුවරුන් දණ ගැස්වූ පුද්ගලයන් නොව ගුරුවරුන්ට මැතිවරණයට එකතු වීම සඳහා වැඩි වැඩියෙන් අවස්ථාව සලසා දීම පක්ෂයේ අභිප්‍රාය විය. ස්ත්‍රී දූෂකයන් නොව බිම් මට්ටමේ කාන්තාවන් සවි බල ගැන්වීමේ හැකියාව ඇති ශක්තිමත් කාන්තා අපේක්ෂිකාවන් මැතිවරණයට ඉදිරිපත් කිරීම පක්ෂයේ ප්‍රමුඛ අරමුණක් විය. කොටින්ම එක්සත් ජාතික පක්ෂයේ බලකොටුව ලෙස සැලකෙන කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂිකාව වශයෙන්ද නම් කරනු ලැබුවේ කාන්තාවකි. ඒ තුළ පෙනෙන්නේද පක්ෂ නායකත්වයේ ඉදිරිගාමී දර්ශනයයි. තවත් දින කිහිපයකින් කොළඹ නගරයේ ප්‍රථම පුරපතිනිය බිහි වනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙනි.

පක්ෂයේ සියලුම අපේක්ෂකයන්ට නායකත්වයෙන් ලැබුණු ප්‍රධානම උපදෙස වූයේ මැතිවරණ නීති කඩ නොකරමින්, විනයගරුකව, නීතිය හා සාමය සුරකිමින් මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන ලෙසයි. මෙවර මැතිවරණය ශ්‍රී ලංකාවේ මෑත කාලීන මැතිවරණ ඉතිහාසයේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම මැතිවරණයක් වශයෙන් සැලකෙන්නට මූලිකම හේතුවක් වූයේ එයයි. වෙනත් පක්ෂවල අපේක්ෂකයන්ට සාපේක්ෂව බැලූ විට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ ඉතාමත්ම සාමකාමී ලෙසය. ස්ථාන කිහිපයක සුළු සිදුවීම් වාර්තා වුණත් සමස්තයක් වශයෙන් එය අප කාහටත් ආඩම්බර විය හැකි තත්ත්වයකි. නමුත් ගෞරවය හිමිවිය යුත්තේ අන් කවරෙකුටත් වඩා පක්ෂ නායකත්වයටය. 

ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන් ගිය සතියේ මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙවර වැඩිපුරම මැතුවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව බවය. එය අපට අලුත් අත්දැකීමක් නොවුවත් විශේෂත්වය වන්නේ මෙවර එජාපයට ආණ්ඩු බලය තිබියදීම අපට එයට මුහුණ දීමට සිදු වීමයි. එහෙත් එයින් පෙන්නුම් කරන යථාර්ථයක් වන්නේ එජාපය දිවයිනේ බොහෝ ප්‍රදේශවල අන් සියලුම පක්ෂවලට ආදර්ශයක් වන පරිදි,  සාමකාමීව සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ බවයි. 

මේ සියලුම දෙයින් සිදු වූයේ පක්ෂය තව තවත් ශක්තිමත් වීමයි. පාක්ෂිකයන්ට ආඩම්බර විය හකි අන්දමින් පක්ෂ නායකත්වය ද, පක්ෂ නායකත්වයට ආඩම්බර විය හැකි අන්දමින් පාක්ෂිකයන් ද ක්‍රියා කොට ඇති බව දැන් තහවුරු වී තිබේ. එමෙන්ම පසුගිය කාලය පුරාම පක්ෂයට එලා වූ මඩ ප්‍රහාර සහ අපවාද වලට සිය ඡන්ද පත්‍රිකාවෙන් උත්තර දීමට පාක්ශිකයෝ දැන් සැදී පැහැදී සිටිති. ඔවුන් මෙවර ඡන්ද පොලට යනු ඇත්තේ පක්ෂය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් පමණක් නොව පක්ෂයේ අභිමානය ආරක්ෂා කරගැනීම ද වෙනුවෙනි. දශක හතකටත් අධික කාලයක් තිස්සේ එජාපය රැස් කරගෙන ඇති විශාලතම ධනය එයයි.

Comments

Popular posts from this blog

සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වගකීම

වෙනස්වන ගෝලීය ප්‍රවණතා තුළ ලංකාවේ ජනමාධ්‍යවල ඉරණම කුමක්ද?

වඳ කළයුත්තේ ජාතිවාදීන්ය