උකුස්සන් සමග ඉගිලෙන්නට කලින් පාත්තයන් සමග ඇවිදින්නට උගනිමු


උකුස්සන් සමග ඉගිලෙන්නට කලින් පාත්තයන් සමග ඇවිදින්නට උගනිමු
2015 ජනවාරි 08 වැනිදා ජනතාව විසින් පරාජය කරනු ලැබුවේ මෙරට බිහි වෙමින් තිබූ රාජාණ්ඩු පාලන ක්‍රමයකි. රාජ්‍ය මාධ්‍ය ඇතුළු සියලු පාර්ශවයන් රාජපාක්ෂික වී තිබූ සමයක ඒ පාලනය ජනතාව විසින් පරාජය කරමින් ජනතාවාදී පාලනයක් සිය පාලන තන්ත්‍රය ලෙසින් තෝරා ගනු ලැබුවේ ජනතා පරමාධිපත්‍යයට පින්සිදුවන්නටයි.
ජනතා පරමාධිපත්‍යයේ නාමයෙන් ජනවාරි 08 වැනිදා සිදුවූ ජනතා විප්ලවය මෙරට දේශපාලන ඉතිහාසයේ රන්අකුරින් ලියැවෙන්නේ ඒ හේතුවෙනි. 
ඉන් පසුව බිහි වූ දින සියයේ වැඩසටහනට අනුව විධායක ජනපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධවූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් බිහි කිරීම සහ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කෙරෙන 19 වැනි සංශෝධනය සම්මත කිරීම ජනවාරි 08 විප්ලවයේ ප්‍රමුඛතම අරමුණු අතර විය. ඒ හරහා ශිෂ්ට සම්පන්න දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමටශීලාචාර ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ,පවුල්වාදය වෙනුවට ජන සම්මතවාදය ස්ථාපිත කිරීමටදූෂණයෙන් වංචාවෙන් තොර යහ පාලනයක් ඇති කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට ක්‍රියා කරන බවට යහපාලන රජයේ පුරෝගාමීහු ජනතාව ඉදිරියේ ශපථ කළහ.
එහෙත් මේ ගමනේ අභියෝග රැසක් තිබිණි. මේ ගමන යාමට හවුල්කරුවන් ලෙස එකතු වූයේ ඉතිහාසයේ දශක ගණනාවක් පුරා එකිනෙකා සමග ඇණ කොටා ගත් පක්ෂ දෙකකි. එකිනෙකා සම්බන්ධයෙන් ඉතා අමිහිරි සහ කටුක මතකයන් සහිත පක්ෂ දෙකකි. නිදහසින් පසු ගත වූ වසර 70ක කාලය තුළ කිසිදු ජාතික ප්‍රතිපත්තියක් සඳහා එකඟ කරවා ගත නොහැකි වූ පක්ෂ දෙකකි.

එවන් පක්ෂ දෙකක් සන්ධනයක් තුළට ගෙනැවිත් මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වන දැක්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා සතුව තිබිණි.

සාමයෙන් සාකච්ජා කොටසාමයෙන් තීන්දුගෙන සාමයෙන් විසිර යාමේ දේශපාලනය හෙවත් ලිච්ඡවී සම්ප්‍රදාය මෙරට ක්‍රියාත්මක කරවීමේ අවශ්‍යතාව මතුව තිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ එබැවිනි.
එහෙත් වික්‍රමසිංහ මහතාගේ මෙම දැක්ම මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කෙතරම් දුරට තේරුම් ගත්තා දැයි යන්න ගැටලුවකි.
ප්‍රතිවිරුද්ධ පක්ෂ දෙකක් නියෝජනය කළ ජනාධිපතිවරයාගේ  සහ අග්‍රාමාත්‍යවරයගේ සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිවූයේ ලිචඡවී සම්ප්‍රදාය පෙරදැරිකර ගත් සම්මුති ආණ්ඩුවකින් ජනතා අභිලාෂයන් ඉටුකර ගත හැකි වේ යැයි යන අපේක්ෂාව පෙරදැරිකර ගනිමිනි. නමුත් ඒ ලිච්ඡවී සම්ප්‍රදාය ක්‍රියාවට නැංවූයේදැයි ජනවාරි 08 වැනිදා බිහිවූ රජය කරවූ පාලකයන්ගෙන් ජනතාව පෙරළා කරන්නට විය. ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම වෙනුවට පාලක පක්ෂයේ ඇතැමුන් පුද්ගලික අපේක්ෂාවන් පෙරදැරි කරගැරනීමට කටයුතු කළ නිසා 2018 පෙබරවාරි 10 වැනිදා ජනතාව පාලකයන්ට රතු එළි දැල්වූ බව පිළිගත යුතුය.
ඒ රතු එළි දැල්වූයේ මෙරට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හෝ රජය වෙනස්කිරීමට හෝ නොවන බව සියල්ලන්ම අවබෝධ කර ගත යුතුව තිබේ. එබැවින් ඉදිරි වසර දෙකක කාලය තුළ මෙතෙක් අප දැනුවත්ව හෝ නොදැනුවත්ව අතපසු කොට තිබුණු දේ සම්පූර්ණ කොට, වත්මන් රජය යළි 2015 ජනවාරි විප්ලවයේ මාවත කරා එය රැගෙන ඒමයි සැම දෙනාගේම වගකීම වී තිබේ. ඒ වගකීමෙන් මිදෙන්ට ජනවාරි 08 විප්ලවයේ පුරෝගාමීන් වූ කිසිවෙකුට අයිතියක් නැත.
ඒ සඳහා 19වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභාවන්ට දේශපාලන අතපෙවීම් නතර කර ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතුය. එමෙන්ම වංචා දූෂණ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සහ ඊට අදාළ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ සංවර්ධන ව්‍යාපෘති වේගවත් කිරීම මේ මොහොතේ ප්‍රමුඛ අවශ්‍යතා ලෙස සැලකිය යුතු බව මගේ විශ්වාසයයි .

ලිච්ඡවී රජදරුවන්ගේ සම්ප්‍රදායට අනුව සාමයෙන් රැස්‌වීසාමයෙන් සාකච්ඡා කොට සාමයෙන් තීරණ රැගෙන සාමයෙන් විසිර යාමට නම් මුලින්ම ඒ සඳහා අවශ්‍ය පරිසරය ගොඩනැංවිය යුතුය. ඒ වෙව්නුවෙන් විධායකයට,ඇමැති මණ්‌ඩලයට අමතරව පාර්ලිමේන්තුවේ සියලුම දෙනාට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වැඩ කිරීමේ අවස්‌ථාව දිය යුතුව තිබේ.  වසර 70ක් තිස්සේ රටට ශාපයක් වී ඇති වත්මන් දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා ඇති එක් තිරසාර මාර්ගයක් වන්නේ එයයි.
ශක්තිමත් ලිච්ඡවී පාලනයක් බොහෝ සතුරු බලවේග වලට මහත් හිසරදයක් වනු නො අනුමාන ය. එවිට ඔවුන් ලිච්ඡවී පාලනය බිඳ දැමීමටත්, දෙපාර්ශවය අතර විශ්වාසය පළුදු කිරීමටත් විවිධ උපක්‍රම යෙදවීමට උත්සාහ දරනු ඇත. එසේ භේද භින්න කිරීම්වලින් වැළකී සිටීමට බල කරන දේශපාලන සංස්කෘතියක් සහ සිවිල් ව්‍යාපාරයක් මෙරටට අවශ්‍යය වී ඇත. එවැනි සැකැස්මක් තනා ගැනීමට අප මේ මොහොතේ සමත් වුවහොත් එය ඉදිරි දශකයක කාලය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉතා සාධනීය බලපෑමක් කරනු ඇති බව මගේ මතයයි.
රටක් වශයෙන් අපට ඉතා ඉහළ බලාපොරොත්තු තිබෙන බව නොරහසකි. එය එසේම විය යුතු ය.  එහෙත් අපේ සාර්ථකත්වය රඳා පවතිනු ඇත්තේ මේ බලාපොරොත්තු අප මහපොළොවේ යථාර්ථය සමග බද්ධ කරගන්නා ආකාරය මත ය.  අප බලාපොරොත්තු වන්නේ උකුස්සන් සමඟ ඉඟිලෙන්නට නම් අප ඊට පෙර පාත්තයන් සමඟ සංචාරය කරන්නට ඉගෙන ගත යුතුමය. අපි දැන් උකුස්සන් සමඟ ඉඟිලෙන්නට සූදානම් වෙමු. මීට පෙර සිදුකළ සංචාරයන් ඒ සඳහා අපට අත්දැකීම් ලබා දෙනු ඇත.

 සාගල රත්නායක

Comments

Popular posts from this blog

සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව වගකීම

වෙනස්වන ගෝලීය ප්‍රවණතා තුළ ලංකාවේ ජනමාධ්‍යවල ඉරණම කුමක්ද?

වඳ කළයුත්තේ ජාතිවාදීන්ය